රැකියා සහ සුභසාධන

රැකියා සහ සුභසාධන

රැකියා බලපත්‍ර ක්‍රමය (EPS)

රැකියා බලපත්‍ර ක්‍රමය මගින් කොරියානු සේවා යෝජකයන් හට තම සේවා ස්ථානයේ රැකියා පුරප්පාඩු සදහා කොරියානු ජාතිකයන් යොදාගනීමට නොහැකි අවස්ථා වලදී ඒ සදහා විදේශික ශ්‍රමිකයන් නිත්‍යානුකුලව යොදා ගැනීමට අවස්ථාව ලැබේ.විදේශ ශ්‍රමිකයන් කොරියාවට හදුන්වා දීම හා කළමනාකරණය කිරීම සංවිධානාත්මක සිදු කරලීම සදහා මෙම බලපත්‍ර ක්‍රමය කොරියානු රජය විසින් 2004 වර්ෂයේ අගෝස්තු 17 වන දින, ශ්‍රීලංකාව,පිලිපීනය,වියට්නාමය,ඉන්දුනීසියාව,මොන්ගෝලියාව හා තායිලන්තය යන රටවල් 06 සමග ආරම්භ කරන ලදී.
වර්තමානය වන විට රටවල් 16 හට රැකියා බලපත්‍ර ක්‍රමය හා එක්වීමට කොරියානු රජය ඉඩ සලසාදී තිබේ.

ශ්‍රි ලංකාවේ රැකියා බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරණ නියෝජිත ආයතනය වශයෙන් විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියා කරනු ලැබේ. රැකියා බලපත්‍ර ක්‍රමය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවට නිෂ්පාදන, ධීවර හා ඉදිකිරීම් යන අංශයන්හි කොරියාව තුළ සේවය කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබේ.

වැඩිදුර විස්තර සදහා:- https://www.eps.go.kr/ph/index.html

ජාතික විශ්‍රාම වැ‍ටුප් සේවය (NPS)

ජාතික විශ්‍රාම වැ‍ටුප් සේවය යනු කොරියානු රජය මගින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ සේවාවක් වන අතර මෙම ක්‍රමය යටතේ රක්ෂිතයා විශ්‍රාම ගිය පසු, ආබාධිත තත්වයන්ට පත්වූ පසු හෝ මිය ගිය පසු විශ්‍රාම වැ‍ටුප් වල ප්‍රතිලාභ පිරි නැමීම මගින් රක්ෂිතයා හෝ යැපෙන්නන් හට ස්ථාවර ජීවන තත්වයක් ලබාදීම සදහා කටයුතු කරනු ලැබේ.

  • ආවරණය -කොරියානු ජාතිකයන් හා සමානවම කොරියාවේ වෙසෙන වයස අවුරුදු 18 ත් 60 ත් අතර පසුවන විදේශිකයන් හට ද මෙහි අනිවාර්‍ය සාමාජිකත්වය ලබා ගත හැක.
  • දායකත්වය -රැකියාව සිදු කරන පුද්ගලයාගේ (E -9 වීසා කාණ්ඩයද අඩංගුව) මාසික අදායම ගණනය කර ඉන් 9% ක ප්‍රතිශතයක් මාසික වාරිකයක් වශයෙන් ගෙවනු ලබන අතර මෙහිදී සේවකයාත් සේවායෝජකයත් 4.5% බැගින් මුදල් ප්‍රතිශතයක් තැන්පත් කෙරේ.
  • ප්‍රතිලාභ -විදේශික රක්ෂණලාභින් වයෝවෘධ , අබාධිත හෝ යැපෙන්නන් සදහා වූ යන විශ්‍රාම රක්ෂණයන් සදහා හිමිකම් කියනු ලැබේ. එමෙන්ම ඔවුන්ට කොරියානු ජාතිකයන් හා සමානවම විශ්‍රාම රක්ෂණයන්හි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ.
  • ප්‍රතිලාභ ලබාගැනීම -අවශ්‍ය ලියකියවිලි සමග ළගම ඇති ජාතික විශ්‍රාම වැටුප් සේවයේ ශාඛාවකට ගොස් වයෝවෘධ , අබාධිත හෝ යැපෙන්නන් සදහා වූ විශ්‍රාම රක්ෂණයන් සදහා ඉල්ලුම් කිරීමට හැකි වේ. අවශ්‍ය ලියකියවිලි භාරගත් පසු ලිපි ලේඛණයන්ගේ ගැටළුවක් නොමැති නම් තමන්ට අයත් විශ්‍රාම මුදල් තම මව්බිම බලා නික්ම යන දිනයේදී ගුවන් තොටුපොළේ දී ලබාගත හැකි වේ.

විශ්‍රාම වැටුප් හිමිකම්ලාභීන් කොරියාවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අයදුම් කිරීම මගින් ඔවුන්ට අයත් එකවර ගෙවීමේ අරමුදල් ජාතික විශ්‍රාම වැටුප් සේවයෙන් ලබාගත හැකි වේ. අයදුම් පත්‍රය භාරගත් පසු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හරහා ජාතික විශ්‍රාම වැටුප් සේවාව වෙත ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනු ලැබේ. ජාතික විශ්‍රාම වැටුප් සේවාව මගින් සියලුම ලියකියවිලි සම්පුර්ණ වූ පසුව විශ්‍රාම වැටුප්, හිමිකම්ලාභින් හට ඍජුවම ප්‍රතිලාභ දීමට කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකාව හා දකුණු කොරියානු රජයන් අතර 2011 නොවැම්බර් මස 11 වන දින ද්විපාර්ශික ගිවිසුමක් මේ සම්බන්ධව අත්සන් කර තිබේ.

වැඩිදුර විස්තර සදහා:- http://english.nps.or.kr/jsppage/english/main.jsp

රැකියා බලපත්‍ර ක්‍රමය හා සම්බන්ධ ප්‍රධාන රක්ෂණ ක්‍රම

විදේශීය ශ්‍රමිකයන් සඳහා වූ කම්කරු පනතට අදාලව විදේශීය සේවකයන් සහා සේවායෝජකයන් විසින් පහත සදහන් ප්‍රධාන රක්ෂණ ක්‍රම 4 ක්‍ පවත්වා ගත යුතුය.

01. පිටවීම තහවුරු කිරීමේ රක්ෂණය

විදේශ ශ්‍රමිකයා රැකියා ස්ථානයේ සේවය ආරම්භ කල දිනයේ දින 15 ක් ඇතුලත සේවා යෝජකයා විසින් මෙම රක්ෂණ ක්‍රමය සදහා සැම්සුන් ගිනි හා නාවුක රක්ෂණ ආයතනය (Samsung Fire & Marine Insurance Co. Ltd) වෙතින් අයදුම් කිරීම අනිවාර්‍ය වේ.

සේවායෝජකයා විසින් මෙම රක්ෂණාවරණය පවත්වාගෙන යාම අනිවාර්‍ය වන අතර සේවකයා සේවා ස්ථානයෙන් නොදන්වා පිටවීම හෝ සේවා ස්ථානය මාරු කිරීම සිදු නොකර අවුරුද්දකට වැඩි කාල සීමාවක් එම සේවා ස්ථානයේම සේවය කරමින් සිටි නම් තම සේවා ස්ථානයෙන් ඉවත්වීමට පෙර මෙම රක්ෂණ ක්‍රමයේ ඇතුලත් ප්‍රතිලාභ (වාර්ෂික ප්‍රසාද දීමනා) සේවා යෝජකයා හරහා ලබාගත හැකිවේ.

02. තහවුරු කිරීමේ රක්ෂණය

විදේශීය ශ්‍රමිකයා රැකියා ස්ථානයේ සේවය ආරම්භ කළ දිනයේ සිට දින 15 ක් ඇතුලත මෙම රක්ෂණාවරණය සදහා සෝල් තහවුරු කිරීමේ රක්ෂණ ආයතනය (Seoul Guarantee Insurance Co. Ltd) වෙතින් අයදුම් කළ යුතුය.

සේවා යෝජකයා විසින් මෙම රක්ෂණ ආවරණය පවත්වාගෙන යාම අනිවාර්‍ය වන අතර සේවකයාගේ සේවායෝජකයා විසින් නොගෙවන ලද වැ‍ටුප් ගෙවීම පිලිබඳව තහවුරු කිරීමක් මෙමඟින් සිදුවේ.

සේවායෝජකයා විසින් නොගෙවන ලද වැටුප් පිලිබඳවූ අදාල ලියකියවිලි සමග රැකියා සහා කම්කරු අමාත්‍යංශයේ අදාල ශාඛා කාර්‍යාලයට පැමිණිලි කිරීමෙන් මෙම රක්ෂණය සදහා ඉල්ලුම් කල හැකිවේ.

03. පිටත්ව යාමේ ගාස්තු රක්ෂණය

මෙම රක්ෂණාවරණය සදහා සේවකයා විසින් සේවා ස්ථානයේ වැඩ ආරම්භ කළ දිනයේ සිට දින 80 ක් ඇතුලත සැම්සුන් ගිනි හා නාවුක රක්ෂණ ආයතනය (Samsung Fire & Marine Insurance Co. Ltd)වෙතින් අයදුම් කළ යුතුය.

සේවකයා විසින් මෙම රක්ෂණ ආවරණය පවත්වාගෙන යා යුතු අතර සේවා කාලය නිමකොට ලංකාවට පිටත්වීමේදී ගමන් වියදම් ලාබාදීම මෙම රක්ෂණයෙන් සිදු කරයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා KRW 600,000/- මුදලක් ලබාදෙනු ලැබේ. (තාවකාලිකව කෙටි නිවාඩු සදහා මව්බිමට පිටත්වීමේදී මෙම මුදල් ලබා ගත නොහැකි වේ.)

04. හදිසි අනතුරු රක්ෂණය

රැකියා ගිවිසුම ක්‍රියාත්මක වී දින 15 ක් ඇතුලත සේවකයා විසින් සැම්සුන් ගිනි හා නාවුක රක්ෂණ ආයතනය (Samsung Fire & Marine Insurance Co. Ltd) වෙතින් මෙම රක්ෂණාවරණය සදහා අයදුම් කළ යුතුවේ.

සේවා කාලයේ පලමු අවරුදු තුන සදහා වූ රක්ෂණාවරණය නවක ශ්‍රමිකයන්ගේ පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කරනු ලබන අතර ඉතිරි සේවා කාලය සදහා සේවකයා විසින් තනිව දීර්ඝ කර ගත යුතුය.

සේවකයා විසින් අනිවාර්යෙන් මෙම රක්ෂණ ආවරණය පවත්වාගෙන යා යුතු අතර රැකියා ආයතනයෙන් පිටත සිදුවන හදිසි අනතුරු , අසනීප නිසා සිදුවන ආබාධිත වීම් සහා මරණ සදහා වන්දි මුදල් ගෙවීම සිදු කරනු ලැබේ.

වැඩිදුර විස්තර සදහා:- https://www.eps.go.kr/ph/view/view_03.jsp