ශ්‍රී ලංකා-කොරියා සබඳතා

ශ්‍රී ලංකා-කොරියා සබඳතා

Republic of Korea Bilateral Relations

ආසියානු කලාපීය රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවයක් පවත්වාගෙන යති. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින ඓතිහාසික බෞද්ධාගමික සම්බන්ධතාවය ක්‍රි.ව. 5 වැනි ශත වර්ෂය දක්වා දිව යයි. 1977 නොවැම්බර් මස 14 වැනි දින ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසුව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන අංශයන් හි ද්විපාර්ශ්වික සබඳතාවල ශීඝ්‍ර වර්ධනයක් වර්තමානය වනවිට පෙන්නුම් කර ඇති අතර දෙරටේ ජනතාව අතර අන්තර් පුද්ගල සබඳතා ද වර්ධනය වී ඇත.

දෙරට අතර සිදු වූ ඉහළ පෙළ නිල සංචාර සලකා බැලීමේ දී කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් පිරීම නිමිත්තෙන් කොරියානු ජනරජයේ ජනාධිපති මුන් ජේ ඉන් මැතිතුමාගේ ආරාධනයෙන් 2017 වසරේ නොවැම්බර් මාසයේ සිදු වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය සංචාරය ඉතා වැදගත් සංදිස්ථානයකි. කොරියානු විදේශ අමාත්‍ය යුන් බ්යුන් සේ මහතා 2017 වසරේ ශ්‍රී ලංකාවට සිදු කළ නිල සංචාරය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා 2016 වසරේ කොරියානු ජනරජයට සිදු නිල සංචාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනයවීමට සෘජු දායකත්වයක් සැපයීය. මෙම වසර ද එකී මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වන වසරක් ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින ආර්ථික සබඳතා ඉතා වැදගත් වේ. ඇමෙරිකානු ඩොලර් 4,065 ක ඒක පුද්ගල ආදායමක් සහ මිලියන 21 ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාව, පහළ මධ්‍යම ආදායම් ලබන රටකි.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සම්බන්ධතාවල ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර එය වර්තමානය වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක අගයක් ගනී.

ශ්‍රී ලංකාව, ලෝක ව්‍යාප්ත සුපිරි වෙළෙඳ නාමයන් හිමි ඉහළ ගුණාත්මක අගයෙන් යුතු ඇඟලුම් නිෂ්පාදකයෙක් වන අතර ලොව තුන්වන විශාල තේ අපනයනකරුවා සහ සිව්වැනි විශාල තේ නිෂ්පාදකයා වේ. ලොව ප්‍රමුඛතම ඝණ ටයර් අපනයනකරුවකු වන ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන ගණයේ ස්වභාවික කුරුඳු අපනයනකරුවෙක් ද වේ. නිල් මැණික් සඳහා ලොව නම් දරා සිටින ශ්‍රී ලංකාව, විවිධ වර්ගයේ මැණික් ලෝකයේ නොයෙකුත් රටවල් සඳහා අපනයනය කරයි. මීට අමතරව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) සේවා, මුහුදු ආහාර සහ ධීවර නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, පලතුරු හා එළවළු සහ මල් ආශ්‍රිත නිෂ්පාදන කොරියානු ජනරජය වෙත අපනයන කිරීමේ ශක්‍යතාවය ද ශ්‍රී ලංකාවට ඇත.

කොරියානු ජනරජය, ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ඇතුළු ආයෝජන සපයන ප්‍රධාන මූලාශ්‍රයකි. ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන යටතේ ක්‍රියාත්මක වන සමාගම් 70ක් පමණ පවතින අතර එමඟින් රටතුළ රැකියා අවස්ථා 18,000ක් පමණ නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාව අග්‍ර ගණයේ සංචාරක ගමනාන්තයකි. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වන සහ ලාභ ලැබිය හැකි ආයෝජන ක්ෂේත්‍රයකි. 2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සඟරාව විසින් ශ්‍රී ලංකාව නම්කර ඇත. 2013 වසරේ සිට කොරියන් එයාර් (Korean Air) ගුවන් සමාගම කොළඹ සහ සෝල් නගරය අතර සතියකට සෘජු ගමන්වාර 03ක් සිදුකරයි. මේ අනුව 2010 වසරේ 4,310 ක් ලෙස ශ්‍රී ලංකාවට වාර්තා වූ කොරියානු සංචාරක පැමිණීම් 270% ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2017 වසර වනවිට 15,963ක් දක්වා වැඩි වී ඇත.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල ඉතා වැදගත් අංගයක් ලෙස ශ්‍රී ලංකාව වෙත කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ආයතනය (KOICA) සහ කොරියානු එක්සිම් බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) වැනි ආයතනවලින් ලබාදෙන සංවර්ධන සහයෝගීතාවය හැඳින්විය හැකිය. සංවර්ධනය වෙමින් පවතින රටවල් 52ක් අතරින් සමුච්චිත උපයෝජනයන් (ඇමෙරිකානු ඩොලර් මිලියන 481) අනුව තුන්වන ඉහළම කොරියානු නිල සංවර්ධන සහාය (ODA) ලබන්නා ලෙසත්, කැපවීම් අනුව 5වැනි ස්ථානයටත් (ඇමෙරිකානු ඩොලර් මිලියන 842) ශ්‍රී ලංකාව පත්ව ඇත. කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ආයතනය (KOICA) 1991-2017 දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන සහාය ඇමෙරිකානු ඩොලර් මිලියන 136කි.

රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශයන් හි කොන්ත්‍රාත් පදනමින් සේවයේ යෙදී සිටින, ආසන්න වශයෙන් 28,000 ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව හරහා ඇති කරගෙන තිබෙන කම්කරු සබඳතා, දෙරට අතර ද්විපාර්ශවික සම්බන්ධතාවන්හි වැදගත් පැතිකඩක් නිර්මාණය කරයි.

වසර 5කට පසු 2018 වර්ෂයේ ජුනි මාසයේදී දෙරටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශ අතර පැවති දේශපාලන උපදේශන දෙවන වාරය හේතුවෙන් කොරියා ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවන්හිදී 2018 වර්ෂය සුවිශේෂී වේ.මීට අමතරව දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කරමින් 2018 වසරේදී ආරම්භ කිරීමට යෙදුණු ආර්ථික සහයෝගීතාවය පිළිබඳ ඒකාබද්ධතා කොමිසමෙහි පළමු සාකච්ඡා වාරය 2018 ජුනි මාසයේ දී කොළඹ දී පවත්වන්නට යෙදුණි.

දෙරට අතර සහයෝගීතාවය අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ, ආරක්ෂණ සහ සංස්කෘතික යන අංශ ඔස්සේ ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමයෙන් විශිෂ්ට අදිරයක් දක්වා අඛණ්ඩ ව වර්ධනය වෙමින් පවතී.