කොරියාවේ අසාන් ගෝලීය තරු අභියෝගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
About page
- Writer운영자
- Date26-05-19 14:02
- Hit130
Related Links
Main text
කොරියාවේ අසාන් ගෝලීය තරු අභියෝගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
දකුණු කොරියාවේ අසාන් නගරයේ පැවති “2026 Asan Global Star Challenge – Foreigners Festival” ජාත්‍යන්තර සංස්කෘතික උත්සවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ දකුණු කොරියා ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ නර්තන කණ්ඩායම රටවල් සියල්ල අබිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
2026 මැයි 01 වන දින පැවැත්වුණු මෙම තරඟය සඳහා වියට්නාමය, තුර්කිය, මෙක්සිකෝව, යුක්‍රේනය, පිලිපීනය මෙන්ම තවත් රටවල් රැසක් නියෝජනය කරමින් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙන්ම බහුවිධ සංස්කෘතික කණ්ඩායම් රැසක් ද සහභාගී වූහ. එහිදී සියලු කණ්ඩායම් විසින් තම අනන්‍යතාව විදහා දැක්වෙන විවිධ සංස්කෘතික අංග, නර්තන අංග ඇතුළු විවිධ කලා අංග ඉදිරිපත් කළහ.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු කොරියා ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ “Pulse of Serendib” නර්තන කණ්ඩායම ඉදිරිපත් වූ අතර, ඔවුහු වේශ භූෂණ ඇතුළු විවිධ සාම්ප්‍රදායික අංග ඇතුළත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තනාංගයක් අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින්ගේ හා විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානය දිනාගැනීමට සමත් වූහ.
මූලික වටයේ සිට දැඩි තරඟකාරීත්වය සහ අභියෝග මධ්‍යයේ අවසන් වටය දක්වා සුදුසුකම් ලබමින් සිය දක්ෂතාවය තුළින් ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ කලාව මෙලෙස ලොවට ගෙනහැර පෑමට මෙන්ම සහභාගී වූ සියලු රටවල් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවක ගෞරවයෙන් ඉහළ නැංවීමට ශ්‍රී ලාංකික සිසුහු සමත් වූහ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික සිසුන්ගේ දක්ෂතාවය, එකමුතුකම මෙන්ම රටට ආවේණික සංස්කෘතික උරුමය ලෝකයට පෙන්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. දකුණු කොරියා ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කැපවීම මෙම සාර්ථකත්වයට විශාල ශක්තියක් වූ බව ද අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය.
මේ අයුරින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය, නර්තන හා සංස්කෘතිය ජාත්‍යන්තර වේදිකාවක ගෞරවයෙන් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකික නාමය ඔසවා තබමින් ගෞරව සම්මානයට පාත්‍ර වීම සියලු ශ්‍රී ලාංකිකයන්ට මහත් ආඩම්බරයක් වන අතර, අනාගතයේදී ද මෙවැනි ජාත්‍යන්තර තලයේ තරඟාවලීන්හිදි ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ප්‍රභාමත් කිරීමට මෙම සිසු පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.



















